March 21, 2025

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටුවක් සම්බන්ධයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, නාලන්දා විද්‍යාලයීය විසින් සිය ආදි නාලන්දීයයකු වන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්වූ අවස්ථාවේදී සුබපතමින් පළකරන ලද පෝස්ටුවක් විකෘති කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙනි.

මෙම විකෘති කළ පෝස්ටුව මුදාහැර තිබුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගියදා අධිකරණයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ය.

පළමු පෝස්ටුවේ තිබූ කරුණු විකෘති කරමින් ව්‍යාජ ලෙස සකසන ලද දෙවැනි පෝස්ටුව පිළිබඳ වන පැමිණිල්ල සයිබර් අපරාධ අංශය වෙතද යොමුකර ඇත.

ඒ අනුව මෙම පෝස්ටුව සමාජ මාධ්‍යයට මුදාහැරි සහ එය බෙදාගන්නා (Share) කරන ලද පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සිදුකරෙනු ඇත.

එම පෝස්ටුව බෙදාගත් පුද්ගලයන් කිහිපදෙනකු මේ වනවිටත් හඳුනාගෙන ඇතැයි වාර්තා සඳහන් කරයි.