March 20, 2025

එක් පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ දහයක් පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණ ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 34ක් ආහාරයට ගන්නා බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාව වැඩි පිරිසක් සීනි පරිභෝජනයට ගෙන දැත් දිරායෑම හා වෙනත් රෝග රැසකට මගපාදන සීනි අධි පරිභාජනයට ගන්නා රටක් වශයෙන් ඉතිහාසයට එක්වෙන බවයි.

ලෝක ජනගහණයෙන් 3.5 මුඛ රෝගවලින් පෙළෙන බවත් ලොව ඇති සුලභව දැකිය හැකි රෝග වන්නේ මුඛ රෝග බවත් ඔහු පැවැසුවේය.

මුඛ රෝගවලින් පෙළෙන පුද්ගලයන් හතරදෙනෙකුගෙන් තුන්දෙන්නකුම දුප්පත් රටවල දැකිය හැකි බව පෙන්වාදුන් වෛද්‍යවරයා පැහැදිළි කළේ, එය ගෝලීය ගැටළුවක් බවයි.

බෝ නොවන රෝවලින් වැඩිපුරම දැකිය හැකි රෝගය වන්නේ මුඛ රෝග බවත්, ලොව ජනගහණයෙන් සියයට 34 ක්ම දත් දිරා යෑමේ රෝගයට ගොඳුරු වී තිබෙන බවත් ඔහු පැවැසීය.

එම තත්ත්වය පාලනය කළ නොහැකි බවත්, මෙරට කුඩා දරුවන්ගෙන් වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර සියයට 63 ක් මුඛ රෝගවලින් පෙළෙන අතර දත්දිරා යෑම සියයට 63ක් පමණ වන බව පෙන්වා දිය හැකි බවත් ඔහු පවසයි.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසන්නේ, නිරතුරුවම දන්ත වෛද්‍යවරුයෙක් හමුවී දත් පරික්ෂාව සිදුකර ගතයුතු බවයි.

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපවලින් දත් මදින්නේ ලංකාවේ සියයට 75ක පමණ පිරිසක් බවත්, මෙරට සියයට 25ක් පමණ ප්‍රමාණයක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත නොකරන බවත් ඔහු පවසයි.

මේ අතර මුඛ සෞඛ්‍ය දිනය අදට (මාර්තු 20) යෙදී තිබේ.