March 8, 2025

ශ්‍රී ලංකාව විසින් තමිල්නාඩු ධීවරයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් වෙත ඊයේ ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

එම ලිපියෙන් ඔහු ඉලා ඇත්තේ රඳවාගෙන සිටින සියලුම ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු නිදහස් කිරීම සඳහා ඵලදායී පියවර ගන්නා ලෙසයි.

මේ වන විට තමිල්නාඩු ධීවරයන්ගේ බෝට්ටු 227ක් සහ ධීවරයන් 107ක් ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ සිටින බව ස්ටාලින් පවසා ඇත.

රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ රාමේෂ්වරම් ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් 14 දෙනෙකු ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ගේ යාන්ත්‍රික ධීවර බෝට්ටුව ද 2025 මාර්තු 6 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බවත් මහ ඇමැතිවරයා සිය සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ කණස්සල්ල පළ කරමිනි.

2025 වසරේ අවසාන මාස 2 තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු අත්අඩංගුවට ගනු ලැබූ නවවැනි සිදුවීම මෙය බව ප්‍රධාන ඇමැතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

“මේ වන විට තමිල්නාඩු ධීවර බෝට්ටු 227ක් සහ ධීවරයන් 107ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ භාරයේ සිටින බව මම දැඩි කණස්සල්ලෙන් පෙන්වා දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා බලධාරීන් දැන් ධීවරයන් දිගු කාලයක් රඳවා තබා ගනිමින් සිටින අතර ඔවුන් නිදහස් කිරීම සඳහා දැඩි දඩ මුදල් පැනවීමට පටන් ගෙන තිබේ. රැඳවුම් කාලය තුළ සිරගත කිරීම, දඩ මුදල් සහ අහිමි වූ ආදායමට අමතරව, ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ එකම ආර්ථික ආදායම් මාර්ගය වන ඔවුන්ගේ බෝට්ටු ආපසු නොදෙන බැවින් ධීවරයන්ට ඔවුන්ගේ ජීවනෝපායන් විශාල ලෙස අහිමි වී ඇත,” යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.