March 8, 2025

නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සොයා ගැනීම සඳහා තොරතුරු ලබා දීමේදී දෙන ත්‍යාග මුදල් ඉහළ දැමීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ.

අපරාධ මැඩපැවැත්වීම සඳහා ගනු ලැබූ මෑත කාලීන උත්සාහයන් නොතකා, නීති විරෝධී අවි අඛණ්ඩව සංසරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අපරාධ මැඩපැවැත්වීමට සහ පුරවැසියන්ට බියෙන් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් සිදුකෙරෙන පුළුල් මුලපිරීමක කොටසක් ලෙස මෙලෙස ත්‍යාග මුදල් වැඩි කෙරෙන බව පොලිසිය පවසයි.

නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගත් මෙහෙයුම් දැනට ද ක්‍රියාත්මක වන බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා වන සහයෝගීතාව තවදුරටත් දිරිමත් කිරීම සඳහා, නීති විරෝධී අවි හසුකර ගැනීමට හේතු වන තීරණාත්මක තොරතුරු සපයන නිලධාරීන්ට සහ පෞද්ගලික තොරතුරු සපයන්නන්ට පොලීසිය පිරිනමන ත්‍යාග මුදල් මෙලෙස වැඩි කර ඇත.

ඒ අනුව, ටී-56 ගිනි අවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගන්නා නිලධාරියාට රුපියල් මිලියනයක් සහ පෞද්ගලික තොරතුරු සපයන්නාට රුපියල් 750,000ක් ත්‍යාග ලබා දෙන බව පොලිසිය පවසයි.

සැකකරුවකු නොමැතිව ටී-56 ගිනි අවියක් සොයා ගැනීමට හේතු වන තොරතුරු සඳහා ත්‍යාගය ලෙස නිලධාරියාට රුපියල් 750,000ක් සහ පෞද්ගලික තොරතුරු සපයන්නාට රුපියල් 500,000ක් පිරිනමනු ඇතැයි පොලිසිය පැවසීය.