March 7, 2025

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මෝසමක් මඟින් කළ ඉල්ලීමකට අදාළව මාර්තු 21 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සිතාසි නිකුත් කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට ලක්ව සිටින පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය තම ව්‍යාපාරික කටයුතු සඳහා අයහපත් ලෙස බලපා ඇති බව ප්‍රකාශ කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පියුමි හංසමාලිගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

පියුමි හංසමාලිගේ ව්‍යාපාරයෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රශ්න කරමින් එහි කටයුතුවලට සැළකිව යුතු හානියක් සිදුකරන බවට ඇයගේ නීතිඥවරයා චෝදනා කළේය.

මෙම ක්‍රියාවලි මගින් ඇයගේ අයිතිවාසිකම් කඩවන බවට තර්ක කළ ඔහු, අධිකරණ පනතට අනුකූලව මෙම කරුණු ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියමිත දිනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් සහ දේපළ ඉපැයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුවෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ඇයගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මේ අතර, විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කර ඇත.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ පියුමි හංසමාලි මේ මොහොතේ අත්අඩංගුවට නොගන්නා බවයි.