August 5, 2024

ඇඹිලිපිටිය,මොරකැටිය පාරේ වී අලෙවි මණ්ඩලයට අයත් වී තොග රැස්කරන, විශාල ප්‍රමාණයේ ගබඩාවක් මහින්ද අමරවීර ඇමැතිවරයාගේ ලියමනක්ද රැගෙන මෙරට පිරිසක් සමග ආ චීන ජාතිකයන් පිරිසක් අත්පත් කරගත් බව ප්‍රදේශවාසීහු කියති.

පොල් වතුර පිටරට යැවීමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරිම සඳහා ගබඩාව චීන සමාගමකට දී ඇතැයි සඳහන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දුන් බව කියන ලිපියක් රැගෙන පිරිස පැමිණ ඇතැයි කියති.

පොල් ගෙඩි ලක්‍ෂ තුනක පොල් වතුර දිනකට ගන්නා බවත්, පුද්ගලයන් හාරසිය පනහකට පමණ රැකියා දෙන බවත් ශ්‍රීලාංකික පිරිස පැවසු බවද ප්‍රදේශවාසීහු කියති.

වී අලෙවි මණ්ඩලයට අයත් මෙම ගබඩාව දිගින් අඩි 140 ක් සහ පළලින් අඩි 50ක් වේ.

ඇඹිලිපිටිය, සෙවනගල, කිරිඉබ්බන්ආර, චන්ද්‍රිකා වැව ආදි මහවැලි කලාපවලට අයත් කුඹුරුවල වී අස්වැන්න රජය මිලදි ගන්නා අවස්ථාවල එම අස්වනු ගබඩා කරනු ලබන්නේ මෙම වී ගබඩාවේ බව මහජනතාව පවසති.

මෙම වී ගබඩාව ලබාගැනීම සඳහා පැමිණි චීන ජාතිකයන් අතර සිටි ශ්‍රීලාංකික කිහිපදෙනකු එම ගබඩාවට යාබදව අතහැර දමා ඇති මොරකැටිය සහල් සැකසුම් සංකීර්ණයේ ඇති සහල් ගබඩාවේ යතුරද දෙන්නැයි බලකරමින් සේවකයන්ට බලපෑම් කළ බවද ප්‍රදේශවාසීහූ කියති.

ප්‍රදේශවාසීන් පැවසූ ආකාරයට චීන කණ්ඩායමක් පැමිණ ගබඩාවේ යතුර ලබාගත්තේ ද යන්න එහි ස්ථානභාර නිලධාරිනියගෙන් විමසුවෙමු.

ඇය පැවසුවේ එවැනි කණ්ඩායමක් පැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයෙන් විමසු අවස්ථාවේ නම සඳහන් නොකළ නිලධාරියකු පැවසුවේ මහින්ද අමරවීර ඇමැතිවරයාගේ උපදෙස් මත වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා මෙම ගබඩාව චීන දූත පිරිසට දෙන ලෙස දන්වා ඇති බවයි.

එහි ලිපිගොනු ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති බව ද එම ප්‍රකාශකයා කීවේය.

මහවැලි සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙවැන්නක් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි වී අලෙවි මලය සතු වී ගබඩාවක් චීන ජාතික සමාගමකට පවරා ඇති බවට දැනුවත් නැති බවයි.

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලගෙන් විමසු විට ඔහු පැවසුවේද මෙවැන්නක් ගැන තමන් නොදන්නා බවයි. ඒ ගැන වහාම සොයා බලන බවද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් මහින්ද අමරවීර ඇමැතිවරයාගෙන් දැනගැනීම සඳහා දුකරනන්තනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවක් ම උත්සාහ කළද නොහැකි විය.(ලංකාදීප)