August 4, 2024

ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කමිටුව ඒකමතිකව අනුමත කර තිබේ.

හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්නගේ නිවසේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

නව දේශපාලන සන්ධානයේ මෙහෙයුම් ද මෙහෙයවන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් ප්‍රියංකර සහ අලි සබ්රි මෙම අවස්ථාවට එක්ව සිටි අතර රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු විදේශගතව සිටීම හේතුවෙන් පැමිණ සිටියේ නැත.

මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියට පුත්තලම දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන් හයදෙනාගෙන් හතර දෙනෙකුම සහභාගීවීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා ඇමැති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.