August 3, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩුකිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇතැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ගොනුකර තිබෙන පෙත්සම සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින නියම කළේය.

පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී මෙම නඩුකරයට මැදිහත්වීම සඳහා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනීසිටිමින් ඉල්ලීමක් කළ නාගානන්ද කොඩිතුවක්කු මෙම පෙත්සම පෙත්සම්කරු විසින් අධිකරණ බලය අවභාවිතාවට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපතිවරණයට පෙර පෙත්සම සළකාබැලීමට කැඳවන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහි දී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ නවීන් මාරපන යන ඇය පෙත්සම සම්බන්ධව විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව පැවසූහ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම සළකාබැලීම සඳහා සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

ආනයනික සීනි සඳහා පනවන ලද රුපියල් 50/-ක බද්ද ශත 25ක් දක්වා 2020 වසරේදී අඩුකිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක පාඩුවක් සිදුව ඇති බවත් ඒ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.