July 28, 2024

AKD වෙබ් පිටුව (www.akd.lk), ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (27) පෙරවරුවේ සිදුවිය.

මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ, ජනාධිපතිවරණයකදී අපේක්ෂකයකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය ලබාගන්නා පළමු අවස්ථාව වීමයි.

ආසියාවේ දේශපාලන නායකයකු තම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා AI තාක්ෂණය පාවිච්චි කරන පළමු අවස්ථාවද මෙය බවද එම පක්ෂය පවසයි.

පුරවැසියනට භාෂා ත්‍රිත්වයකින් AKD වෙබ් අඩවිය වෙත ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමද විශේෂයකි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියනට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන අතර මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට එය විවෘතව පවතී.