July 25, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන යළිත් වරක් චීනයේ සංචාරයක නිරත වෙමින් දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබේ.

එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීම යටතේ සහයෝගිතාව වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීම සමන්විත වන්නේ මාර්ග, දුම්රිය, බලශක්ති සහ ඩිජිටල් යටිතල පහසුකම් මගින් සම්බන්ධ වන නාගරික සංවර්ධන ඉඩම් කොරිඩෝ හයකින් සහ වරාය සංවර්ධනය මගින් සම්බන්ධ වූ සමුද්‍රීය සේද මාවතයි.

කථානායක අබේවර්ධන චීනයට පැමිණ තිබුණේ යුනාන් පළාතේ කුන්මිං හි පැවති 8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහාය.

මෙම වෙළඳ ප්‍රදර්ශනය මගින් 2013 වසරේ ආරම්භයේ සිටම දකුණු ආසියාතික රටවල් අතර සහයෝගීතාව සැළකිව යුතු ලෙස ශක්තිමත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ජනතාවට සැළකිව යුතු ප්‍රතිලාභ ගෙන දී ඇති බව කථානායකවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

“කලාපීය සංවර්ධනය සඳහා සම්මුතිය ගොඩනැගීම” යන තේමාව යටතේ ඊයේ (24) පැවති 5 වැනි චීන-දකුණු ආසියානු සහයෝගීතා සංසදය ඇමතීම ද කථානායකවරයා විසින් සිදු කරන ලදී.

ගෝලීය සංවර්ධන අභියෝග සඳහා සාමූහික විසඳුම්වල අවශ්‍යතාව අවධාරණය කළ ඔහු අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

අබේවර්ධන ඇතුළු දූත පිරිසේ නිලධාරීන් යුනාන් පළාත් කමිටුවේ ලේකම් සහ යුනාන් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Wang Ning සහ 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Ding Zhongli ද හමුවී තිබිණි.