July 21, 2024

අනුරාධපුර පූජා නගරයට ඇතුළු වන ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමට මින් ඉදිරියට ඉඩ නොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙනත් තැන්වල දක්නට නොලැබෙන අද්විතීය බොරලු වර්ගයක් අනුරාධපුරයේ ඇති බැවින් පූජා නගරයට ඇතුළු වන දොරටුව සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ අනුරාධපුරයේ වෙස්සගිරිය සැබවින්ම ඉසුරුමුණිය ලෙස හඳුන්වන ප්‍රදේශයේම කොටසක් බව මෑතක දී කළ කැණීම්වලින් අනාවරණය වීමත් සමඟය.

මහාචාර්ය මෙන්ඩිස් පවසන්නේ වෙස්සගිරිය ඉසුරුමුණියේ අනිවාර්ය අංගයක් ලෙස සැළකිව යුතු බවට සෙල්ලිපි පෙන්වා දී ඇති බවයි.

එය ඉසුරුමුණියට සමගාමීව වර්ධනය වී ඇති බැවින් වෙස්සගිරිය යන නාමය ආශ්‍රමය සඳහා තනි හඳුනාගැනීමක් ලෙස භාවිත කිරීම වැරදි බව ඔහු සඳහන් කරයි.

ඔහු පවසන පරිදි දැනට ‘ඉසුරුමුණිය’ යන නම භාවිත කරන්නේ රන්මසු උයන අසල ඇති එක් විහාරයකට පමණක් වන අතර ශිලා ලේඛන සාක්ෂි අනුව මෙය වැරදි බවින් නම වෙනස් කිරීම සිදුකළ යුතු බවයි.

අනුරාධපුරයේ පිහිටි මෙම ජනාවාසය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල විසින් 1969 දී කැණීම් කර ඇති බව මහාචාර්ය මෙන්ඩිස් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ආචාර්ය දැරණියගල විසින් මෙම ප්‍රදේශයේ කැණීම් කිහිපයක් සිදු කරන ලද අතර එමඟින් අඩි 40ක් පොළව යට පිහිටි ජනාවාසයක් සොයා ගැනීමට හැකි වී තිබිණි.

මෙම ජනාවාස ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගයට එනම් මීට වසර 5,900කට පමණ පෙර හෝ ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3900ට අයත් වේ.

“වෛශ්‍ය කුලයේ භික්ෂූන් වහන්සේ 500 නමක් මෙහි වැඩ සිටි බව මූලාශ්‍රවලින් හෙළි වී තිබෙනවා. 2006 වසරේ ජේතවන ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද කැණීම්වලදී මධ්‍යශිලා යුගයේ බලංගොඩ ජනයා පිළිබඳ බොහෝ ප්‍රාග් ඓතිහාසික තොරතුරු අනාවරණ වුණා. පළමු බලංගොඩ මානවයා මෙම ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර පසුව ලෝහ යුගයේ මිනිසුන් ද මෙහි වාසය කර තිබෙනවා. ඔවුන් ලෝහ යුගයේ ජනාවාස පිහිටුවීමෙන් පසු, කුඹුරු වගාව, වාරිමාර්ග, මැටි භාණ්ඩ සෑදීමේ ක්‍රම, ගෘහාශ්‍රිතකරණය සහ ගම් ජනාවාස හඳුන්වා දීමෙන් සංස්කෘතිය වර්ධනය කර ගෙන තිබෙනවා” යනුවෙන් මහාචාර්ය මෙන්ඩිස් පවසයි.