July 10, 2024

අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය මගින් විකාශය කිරීමට අදාළව පොලිස්පතිවරයා විසින් ලිඛිතව නිකුත් කර ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ නොතකමින් ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ සැකකරුවකු කරන පාපෝච්චාරණයක වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඅත්අඩංගුවට ගත් අතුරුගිරිය පච්ච කෙටීමේ මධ්‍යස්ථානයේ හිමිකරු පොලිස් නිලධාරීන් හමුවේ කරන ප්‍රකාශයකි.

සැකකරු විසින් පච්ච කෙටීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට ලබාගත් උපකාර සහ විවෘත කිරීම සඳහා අමුත්තන්ට ආරාධනා කළ ආකාරය පිළිබඳ තොරතුරු හෙළි කරන ආකාරය එම වීඩියෝවෙන් දක්නට ලැබේ.

ඩුබායි සිටින ‘පැටී’ නැමැත්තකු පච්ච කෙටීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට මුදල් සැපයු බව සැකකරු සිය සාක්ෂියේදී හෙළි කළේය.

තමන් විවෘත කිරීමේ උත්සවය සඳහා ආරාධනා කිරීමට සිටියේ ගායන ශිල්පිනි කේ.සුජීවාට බවත් ‘ක්ලබ් වසන්ත’ට සමාජ මාධ්‍ය ජාලාවල ඇති අනුගාමික පිරිස සළකා ඔහුට ආරාධනා කළහොත් වැඩි ප්‍රසිද්ධියක් ලබා ගත හැකි බවටත් යෝජනා කළේ ‘පැටී’ බව ඔහු එහිදී සඳහන් කරයි.

නමුත් පච්ච කෙටීමේ මධ්‍යස්ථානය සඳහා තමන් කළ ආයෝජනය හෙළි කිරීමෙන් වළකින ලෙස ඔහු වැඩිදුරටත් දැන්වූ බව සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කරන අයුරුද වීඩියෝවෙන් දැකගත හැකි වේ.

අතුරුගිරියේ පිහිටි පච්ච කෙටීමේ මධ්‍යස්ථානයක් තුළ දී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ සහ තවත් පුද්ගලයකු මිය ගියේ පසුගිය සඳුදායි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර මෙම වීඩියෝවේ සිටින පච්ච කෙටීමේ මධ්‍යස්ථානයේ හිමිකරු ඒ අතරින් එක් අයෙකි.

කෙසේවෙතත් සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාව සිටියදී 2022 වසරේ නිකුත් කර ඇති ලිපියකින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු සමස්ත පොලිසියටම උපදෙස් ලබා දී ඇත්තේ සැකකරුවන් කරන ප්‍රකාශ මාධ්‍ය මගින් විකාශය වීම නඩු කටයුතුවලට අගතිදායක ලෙස බලපාන බවයි.

එසේම එවැනි සිද්ධි පිළිබඳ මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි ලැබී ඇති බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

එවැනි සිදුවීම් මගින් සැකරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවට කොමිසම පැහැදිලි ලෙසම දන්වා ඇති බව අදාළ ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ සැකකරුවකු කරන පාපෝච්චාරණයක වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ මෙවැනි උපදෙස් පොලිසියට ලැබී තිබියදීය.