May 7, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සමබන්ධයෙන් වන සාකච්ඡාවක් සඳහා දිවයින පුරා සිටින එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ වර්තමාන ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ ද සහභාගිවීමට නියමිතය.

වාර්තා වන පරිදි මෙම හමුව සංවිධාන කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසිනි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් ද ඊට සහභාගිවීමට නියමිතව බව වාර්තා වේ.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ බවයි.

දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.