April 17, 2024

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පසුගියදා පැවති උත්සවයකට සහභාගි වූ ආබාධිත කාන්තාවකට ආරක්‍ෂක නිලධාරීන් විසින් අයුතු ලෙස සැළකීමේ සිද්ධියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලය සහ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය දැඩි ලෙස හෙළාදැක තිබේ.

ආබාධිත කාන්තාවකට ගමනාගමනයට බාධා කිරීමේ අදාළ සිද්ධිය වාර්තා වී තිබුණේ 2024 අප්‍රේල් මස 05 වැනි දිනය.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ අදාළ කාන්තාවට ආරක්ෂක නිලධාරීන් භාවිත කළ භාෂාව ඉතා අසංවේදී , අගෞරවනීය සහ සිත් රිදවන ආකාරයේ එකක් බවයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක ආරාධිත කථිකයකු ලෙස පැමිණ සිටියදී එම කාන්තාව මෙම සිද්ධියට මුහුණ දී තිබිණි.

පරිශ්‍රයෙන් පිටවීම සඳහා වාහනය ගෙන්වා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ඇයට දන්වා ඇත්තේ වාහන ප්‍රවේශය ප්‍රභූවරුන් සඳහා පමණක් වෙන් කර ඇති බවයි.

එහිදී අදාළ ආරක්ෂක නිලධාරීන් භාවිත කළ භාෂාව ඉතා අසංවේදී , අගෞරවනීය සහ සිත් රිදවන ආකාරයේ එකක් බව සිය අවධානයට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල සිය නිවේදනයෙන් කියාසිටී.

ආබාධ සහිත පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9%ක් වන අතර ඔවුන් විවිධ සේවාවන් වෙත ප්‍රවේශ වන විට, ඔවුන්ගේ දෛනික ජීවන කටයුතු කරගෙන යන විට වෙනස්කම්වලට හා හිරිහැරවලට මුහුණ දෙන බවත් අවශ්‍ය යටිතල පහසුකම් සහ සංඥා භාෂා පරිවර්තනය, ආබාධිත-හිතකාමී අධ්‍යාපනික සහ රැකියා පහසුකම් සහ ප්‍රවේශ විය හැකි ප්‍රවාහන පහසුකම් වැනි අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් ආබාධ සහිත පුද්ගලයන් බොහෝ විට දුෂ්කරතාවන්ට මුහුණදෙන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය හෝ ආබාධිතභාවය නොසළකා සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන සහ පොදු පූජා භූමි සඳහා සමාන ප්‍රවේශය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සහතික කර ඇති බවත් ආබාධ සහිත පුද්ගලයන්ට සියලුම පොදු ගොඩනැගිලි වෙත සුවපහසු ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවත් ඔවුන් සඳහන් කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය සහ තවත් බොහෝ රාජ්‍ය සේවාවන් ආබාධිත පුද්ගලයන් විසින් නිරන්තරයෙන් ප්‍රවේශ කරනු ලැබේ. බත්තරමුල්ලේ පිහිටි රජයේ කාර්යාලවල ආරක්‍ෂක සේවා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) මූලික වගකීම වන බැවින්, ආරක්‍ෂක නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් සැළකීම සහ කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ භාවිතය පිළිබඳ ආරක්‍ෂක නිලධාරීන් දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් මෙවැනි සිදුවීම් අනාගතයේ ඇති නොවීමට වග බලා ගැනීම අපගේ වගකීමකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලය සහ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය ලෙස, අපි දැඩි ලෙස ඉල්ලා සිටින්නේ සෙත්සිරිපායේ (සහ අනෙකුත් පොදු අවකාශයන්හි) කාර්ය මණ්ඩලය ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව නිසි ලෙස සංවේදී කර දැනුවත් කරන ලෙසයි. තවද, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කරන ලෙසත්, ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙසත් අපි විශේෂයෙන් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.”