April 16, 2024

ශ්‍රී ලංකාවේ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ

මිය යන විට ඔහු 93 හැවිරිදි වියේ පසුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හිටපු සාමාජිකයකුද වන ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

අහංගමගේ ටියුඩර් ආරියරත්න යනු ‘සියල්ලන්ගේ පිබිදීම සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීම’ යන සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයක් වන ශ්‍රී ලංකා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සම්මානනීය සභාපතිවරයා වේ.

වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් දුෂ්කරතා රාශියක් මධ්‍යයේ 1958 සිට ශ්‍රී ලංකාව පුරා සර්වෝදය ක්‍රියාත්මක වේ.

1931 වසරේ ශ්‍රී ලංකාවේ දකුණේ උපත ලද ආචාර්ය ආරියරත්න ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි ගුරුවරයෙකු ලෙස සිටියදී උසස් පාසල් සිසුන් හතළිස් දෙනෙකු සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලයෙන් බැහැර ගමකටය.

මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්න තම සිසුන්ට සහ සෙසු ගුරුවරුන්ට ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වැසියන් සමඟ බෙදා ගැනීමේ ඔහුගේ දැක්ම ඔස්සේ මඟ පෙන්වමින් ඔවුන්ගේ ගම දියුණු කිරීමට උපකාර කර තිබේ.

මෙම පළමු ශ්‍රමදාන වැඩ කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කළේය.

එහි ආරම්භයේ සිටම ඔහු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හැඳින්වූයේ තිරසාර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමක් ලෙසය.

ප්‍රජාවගේ ආධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අදාළ කරගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය.

වසර හැට තුනකට අධික කාලයක් පුරා සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවාව අඛණ්ඩව කරගෙන යන අතර රට සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයමින් ආචාර්ය ආරියරත්න ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

ඔහු 2007 දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය සහ 1969 දී පිලිපීනයේ Ramon Magsaysay Award , 1982 දී බෙල්ජියමේ King Baudouin Award for International Development , නිවානෝ සාම ත්‍යාගය වැනි අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලබා තිබේ.

මානව යහපැවැත්ම සහ සාමය සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන්1992 දී සහ 1996 දී ඉන්දියාවේ මහත්මා ගාන්ධි සාම ත්‍යාගය ආචාර්ය ආරියරත්නට පිරිනමා ඇත.

ඔහුට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් සහ පිලිපීනයේ Amelio Aguinaldo College of Medicine වෙතින් මානව ශාස්ත්‍ර උපාධියක් ද පිරිනමන ලදී.