April 16, 2024

එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් තමා ‘ලස්සන’ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

නුවරඑළිය මීපිළිමාන බක්මහ උළෙලට එක්ව සිටි ජනාධිපතිවරයාගෙන් නිවේදිකාවක කළ විමසීමකදී හෙතෙම මේ බව කියාසිටියේය.

අවුරුදු උත්සවය නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි නිවේදිකාව “ඔබතුමා මෙච්චර ලස්සන වුණේ කොහොමද” යැයි විමසූ අතර, එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, “මම ලස්සන වුණේ යූ.එන්.පී. එකට බැඳිලා” යැයි පිළිතුරු දුන්නේය.

එය උත්සව භූමියේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසීමත් සමග එහි සිටි සියල්ලෝම ඊට සිනාසී ප්‍රතිචාර දැක්වූහ.

මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් ජනාධිපතිවරයා සමග ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස යන අයද එක්ව සිටියහ.