April 13, 2024

මැදවච්චිය පොලිසියේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තරුණයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි.

තරුණයාට එල්ල වූ බව කියන ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 9 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරන්නේ, මේ සම්බන්ධයෙන් අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි.

පොලිස් නිලධාරීන් සිය නිල රාජකාරි අතරතුර සිදුකරන ඕනෑම කෲරත්වයක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළාදකී.

“සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (ICCPR) බැඳීම් අපි අවධාරණය කරමු, එය වධහිංසා පැමිණවීම හෝ ඕනෑම ආකාරයක කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් කිරීම නිසැක ලෙස තහනම් කරයි. එවැනි ක්‍රියාවන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය සහමුලින්ම උල්ලංඝනය කිරීමක් ද වේ. එමගින් වධහිංසාවෙන් හෝ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලින් හෝ දඬුවම්වලින් නිදහස සහතික කරයි” යනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවත්, මෙවැනි නින්දිත ක්‍රියා නැවත සිදුනොවීමට අවශ්‍ය සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.