April 13, 2024

යාල ජාතික වනෝද්‍යානයේ කඳවුරු ස්ථාන දෙකක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර මතභේදයක් පවතින බව වාර්තා වේ.

යාල සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධාන සැලැස්මට අනුව, කඳවුරු බැඳීමේ ස්ථාන තුනක් සඳහා ආයෝජකයන් සොයා ගැනීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශකර ඇත්තේ මෙම අඩවි ස්වාරක්ෂක කලාපයට අයත් වන බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බැවින්, අඩවි දෙකක සංවර්ධනය දැනට ඇණහිට ඇති බවයි.

“මේ මොහොතේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර ව්‍යාකූලත්වයක් පවතිනවා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අඩවි දෙක ස්වාරක්ෂක කලාපය තුළ පිහිටා ඇති බව. කෙසේවෙතත්, ප්‍රධාන සැලැස්ම සකස් කරන විට, එය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ එකඟතාව ඇතිව සිදු කළේ” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශකර ඇත.

එම නිලධාරියා තවදුරටත් ප්‍රකාශකර ඇත්තේ මෙම ගැටලුව විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මූලික රැස්වීමක් සිදුකර ඇති අතර, එම කාරණය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි.

“නීතිපතිවරයා ආයතන දෙකට උපදෙස් දුන්නා සාකච්ඡා කරලා එකඟතාවකට එන්න කියලා. ආයෝජකයන් උනන්දු වන නිසාත්, ස්ථාන පරීක්‍ෂාවට ලක්කර ඇති නිසාත් ඉදිරි ගමන බැලීමට අපි හමුවීමක් ලබා ගැනීමට උත්සාහ කරනවා” යනුවෙන් ඔහු ප්‍රකාශකර ඇත්තේ තුන්වැනි කඳවුරු ස්ථානය ස්වාරක්ෂක කලාපයෙන් පිටත බැවින් එහි කිසිදු ගැටලුවක් නොමැති බව පවසමිනි.

මේ අතර, 2022 දෙසැම්බර් 31 වැනි දින දක්වා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සමාලෝචනය කරන ලද විගණන වාර්තාවක සඳහන් වන්නේ අධිකාරිය විසින් යාල ප්‍රදේශයේ ඉඩම් සමාගම් හතකට සංවර්ධනය සඳහා බදු දී තිබුණද, 2022 වන විට ක්‍රියාත්මක වී ඇත්තේ ඉන් දෙකක් පමණක් බවයි.

අක්කර 35ක ඉඩම් කට්ටි පහක් 2014 දී බදු දී ඇති අතර අක්කර 16.8ක තවත් ඉඩම් කට්ටි දෙකක් පිළිවෙළින් 2019 සහ 2020 දී බදු දී ඇත.

නව ආයෝජකයන් යාල ප්‍රදේශයේ වැඩි ඉඩම් ප්‍රමාණයක් සඳහා උනන්දු වුවද, උද්‍යානයේ ඉහළ මට්ටමේ සංචාරක ව්‍යාපාරයක් පමණක් ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් සංචාරක සංවර්ධනය සඳහා ඉඩම් තවදුරටත් පුළුල් නොකරනු ඇතැයි වාර්තා වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසන්නේ රක්ෂිත ප්‍රදේශ තුළ සංවර්ධනය සිදු කළ නොහැකි බවයි.

රක්ෂිත ප්‍රදේශ වටා සංවර්ධනයක් සිදු වන්නේ නම්, පාරිසරික අධ්‍යයනයන් සිදු කළ යුතු අතර නිර්දේශ නිසි ලෙස අනුගමනය කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබේ.

(The Sunday Morning)