March 20, 2024

අදානි සමූහ ව්‍යාපාරයේ සුළං බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ පියවර පිටුපස සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ මේ වන විට කටයුතු කරන ‘වියත්මග’ හිටපු සාමාජිකයකු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා කියා සිටියේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව නැගී සිටින එක් අයෙක් වන්නේ වියත් මග හිටපු සාමාජික රොහාන් පෙතියාගොඩ බවයි.

“මහාචාර්ය පෙතියාගොඩ විපක්ෂ නායකවරයාගේ උපදේශකයෙක්. මෙයා වියත්මග හිටපු කෙනෙක්” යැයිද ඇමැතිවරයා කීය.

සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික ගැටලුවක් මතු කළ අතළොස්සක් අතරට මහාචාර්ය පෙතියාගොඩ ද එක්වන බව ඔහු පැවසීය.

“මන්නාරමේ දැනට පවතින සුළං බලාගාරවලට අයත් ටර්බයින හයක් ඉවත් කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. කුරුළු සංක්‍රමණය සඳහා කිලෝමීටර් 2ක කොරිඩෝවක් ද අපි තියනවා,” යැයි ඇමැතිවරයා පැවසීය.

යෝජිත විදුලි ඒකක මිල ගැන සඳහන් කරමින් ඇමැතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

“අපි මේ කාරණය සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසා ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.