March 16, 2024

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක සහ අභයාරාම විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පසුගියදා ප්‍රසිද්ධ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

විශාල වැඩි ඡන්දයකින් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනතාව පාවා දී පරිහානියට පත් වූ බව හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ ඉදිරියේ උන්වහන්සේ පවසා ඇත.

හිටපු ජනාධිපතිවරයාට පරිපාලන හෝ දේශපාලන හැකියාවක් නොතිබූ බව පැවසූ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වැඩිදුරටත් කියාසිටියේ, ඔහු තමන්ට හිතකර පුද්ගලයන් පමණක් වටකරගෙන සිටි බවයි.

“ඔහු වැරදි මාවතක ගමන් කරන බව අපි ඔහුට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නා. ඔහු පසුබෑමකට මුහුණ දුන්නේ මේ නිසා. එතුමාට පාලන හැකියාවක් නැතිකම නිසා තමයි අද අපි මේ තත්ත්වයට මුහුණ දීලා තියෙන්නේ” යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.