March 12, 2024

සීගිරියේ පැවැත්වෙන විශේෂ සංදර්ශනයක් මගින් මෙරට පොහොසත් සංස්කෘතික උරුමය සහ ස්වභාව සෞන්දර්යය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

ජර්මනියේ බර්ලින් නුවර ITB (Internationale Tourismus-Börse) සමග පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, සීගිරි පර්වතය රටේ ප්‍රමුඛතම විලාසිතා ඉසව්වක් වන Colombo Fashion Week සඳහා පසුබිම ලෙස ගැනීමට කටයුතු කරන බවයි.

“ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අපගේ ප්‍රයත්නයන් සමඟ අපි අංග රාශියක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ අනුව හොඳම විලාසිතා සංදර්ශන 20න් එකක් වන Colombo Fashion Week සීගිරිය අබියස විශේෂ උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතයි” යනුවෙන් ඔහු පැවසීය.

සීගිරිය ලොවට ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය විස්තර කළ ඇමැති හරීන් ප්‍රනාන්දු, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ආකර්ෂණීය ස්ථාන උපයෝගී කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

සීගිරියේ විශ්මයජනක පසුබිම ඉදිරියේ Colombo Fashion Week වැනි වැඩසහනක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නරඹන්නන්ගේ පරිකල්පනය ග්‍රහණය කර ගැනීමටත් ශ්‍රී ලංකාව සතු අද්විතීය අත්දැකීම් ඉස්මතු කිරීමටත් අපේක්ෂා කරන බව ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

අනෙකුත් රටවල ද මෙවැනිම වැඩසටහන්වල සාර්ථකත්වය අවධාරණය කළ ඇමැති හරීන් ප්‍රනාන්දු, සීගිරිය ගෝලීය වශයෙන් පිළිගත් සංචාරක ගමනාන්තයක් බවට පත්වීමේ හැකියාව පිළිබඳව ද විශ්වාසය පළ කළේය.

සීගිරිය ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ අග භාගයේ දී කැපී පෙනෙන දැවැන්ත පාෂාණ ස්ථම්භයක් මත ඉදිකරන ලද පුරාණ බලකොටුවක නටබුන්වලින් සමන්විත වේ.

එය 1982 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.

සීගිරියේ පැවැත්වෙන විශේෂ මෙම සංදර්ශනය අන්තර්ජාතික විලාසිතා ලෝලීන්, බලපෑම් කරන්නන් සහ සංචාරකයන්ගේ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විචිත්‍රවත් සහ සංස්කෘතික වශයෙන් පොහොසත් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය තවදුරටත් ඉහළ නංවනු ඇති බවට ද අපේක්ෂා කෙරේ.