March 9, 2024

කැනඩාවට සංක්‍රමණය වන සිය දරුවන් එම පරිසරයට හුරුවන කාලසීමාව තුළ ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එම මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ, ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් ඔටාවා හිදී ශ්‍රී ලාංකිකයින් 06 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.

මාර්තු මස 06 වැනිදා ඔටාවාහි සිදුවූ ඛේදජනක සිදුවීමෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා පවසා තිබේ.

අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට සංක්‍රමණය වන සිසුන් එම රටවල නව සමාජ හා මනෝවිද්‍යාත්මක පරිසරයට හුරුවන කාලසීමාව තුළ එම දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙස අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින සහ විදේශ ගත වන දරුවන්ගේ ඔවුන්ගේ මව්පියන්ට දැනුම්දෙන බව කොන්සල් ජනරාල්වරයා පවසා ඇත.

කැනඩාවේ ඔටාවා නගරයේදී දරුවන් සිව්දෙනකු ද සමග ශ්‍රී ලාංකිකයින් 06 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔටාවා පොලිස් සේවා මිනීමැරුම් ඒකකය ශ්‍රී ලාංකික යොවුන් තරුණයකුට චෝදනා එල්ලකර තිබේ.

ඔහු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා (Febrio DE-ZOYSA) නමැත්තෙකි.

ශ්‍රී ලාංකිකයකු වන ඔහු ශිෂ්‍යයකු ලෙස කැනඩාවේ සිටි බවට අනාවරණ වී ඇත.

අදාළ සමූල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර තිබේ.

ඝාතනයට ලක්වූ පිරිස අතර 35 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක, ඇයගේ දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ නිවසේ නවාතැන් ගෙන සිටි 40 හැවිරිදි පුද්ගලයකු ද වේ.

මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටියි.

සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශයේ සිටි බාහිර පුද්ගලයන් , අමුත්තන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම ආසන්නව ස්ථාපිත කර ආරක්ෂිත කැමරා පද්ධති ආශ්‍රයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.