
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍යවේදී බිමල් රුහුණගේ කුරුණෑගල පොලිසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනිණි. ඔහු ඊයේ (06) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මේ, ඒ කතාවයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් නියෝජනය කරමින් කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රවෘත්ති ආවරණයේ යෙදෙන බිමල් රුහුණගේට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය හැඳූනුම්පතක් නිකුත් කර තිබේ. ඔහු පසුගිය දිනක කුරුණෑගල බස් නැවතුම්පොළ ආසන්නයේදී ප්‍රවෘත්තියක් ආවරණය කර ඇත. ඊට පසුබිම් වී ඇත්තේ දරුවකු මව්පියන් විසින් වෙනත් පුද්ගලයකුට පැවරීමකි. එය අධිකරණය මගින් සිදුනොකොට, පොලිසිය මැදිහත් වී සිදුකිරීම ඔහුගේ ප්‍රවෘත්තියට පසුබිම් වී තිබූ බව ඔහු ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවල සහ ඒ සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් වැනි සමාජමාධ්‍ය වේදිකාවල පළකළ අදහස්වල දැක්වේ.
මේ සිදුවීම ආවරණය නොකරන ලෙස පොලිසිය සහ එහි සිටි පුද්ගලයන් ඔහුට පවසා තිබේ. කෙසේවෙතත් ඔහු එම සිදුවීම ආවරණය කර ඇති අතර, ඉන්පසු එය යූටියුබ් නාලිකාවක් මගින් ප්‍රචාරය කර ඇත. මීට දින 4කට පෙර එය ප්‍රචාරය කර ඇති අතර, අදාළ අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ සිදුවීමෙන් දින 4කට පසුවය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු රාජකාරියට බාධාකිරීමේ චෝදනාව මත ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ජනමාධ්‍යවේදියා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ කීර්ති ජී. දුනුසිංහ මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ ඇති රාජකාරියට බාධාකිරීම ඇපදිය හැකි වරදක් වන නිසා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි.
ජනමාධ්‍යවේදියා අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය පාර්ශ්වයෙන් ද ඇප පනතේ ප්‍රතිපාදන යටතේ හෝ ඔහුට ඇප ලබාදීමට විරෝධය පළ කර නැත. ඇප පනතේ 14 වගන්තියේ දැක්වෙන ආකාරයට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, පළායෑම හෝ එවැනි තත්ත්වයක් යටතේ ඇප ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිය හැකි වුවද, එවැනි ඉල්ලීමක් පොලිසිය පාර්ශ්වයෙන් ඉදිරිපත් නොවූ නිසා ජනමාධ්‍යවේදියාට ඇප ලබාදෙන ලෙස ද නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
1997 අංක 30 දරන ඇප පනතේ 14 වගන්තියේ මෙසේ දැක්වේ.
14 (1) මේ පනතේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් වුවද, ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි වරදක් සිදුකිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට හෝ සිදුකර ඇති බවට හෝ සැකකරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තෙකු නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් වෙත ඉදිරිපත් වූ විට හෝ එයට ගෙන එනු ලැබූ විට හෝ එයට යටත් වූ විට අධිකරණය විසින් එම තැනැත්තා ඇප පිට මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම හෝ පොලිස් නිලධාරියකු විසින් තත්කාර්යය සඳහා කරනු ලබන ඉල්ලීමක් මත සහ අදාළ තැනැත්තා වෙත දැන්වීම් යවනු ලැබීමෙන් අනතුරුව එම තැනැත්තාගෙන් පෞද්ගලිකවම හෝ ඔහුගේ නීතිඥවරයකු මඟින් කරුණු විමසා එම තැනැත්තා ඇප පිට මුදාහැරීම සඳහා බලපවත්නා ආඥාව අවලංගු කිරීම –
(අ) එම තැනැත්තා
(1). ඔහුගේ පරීක්ෂණයට හෝ නඩු විභාගයට පෙනීසිටීම සඳහා අධිකරණය වෙත නොපැමිණිය හැකි බවට : හෝ
(11). ඔහුට විරුද්ධව ඇති සාක්ෂිකරුවන් කෙරෙහි හෝ සාක්ෂිවලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධා පැමිණවිය හැකි බවට : හෝ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හැඳූනුම්පතක් හිමි, රටේ පිළිගත් ජනමාධ්‍ය ආයතනයක කාලයක් තිස්සේ සේවය කරන ඔහුට, එම වගන්තිය අදාළ නොවන ආකාරය ද නීතිඥවරයා විසින් අධිකරණයේදී පැහැදිලි කර ඇත.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා විසින් ජනමාධ්‍යවේදියාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී අවධාරණය කර ඇත්තේ ප්‍රවෘත්ති ආවරණය කිරීමේදී ජනමාධ්‍යවේදීන් සිය සීමා හඳූනාගත යුතු බවයි. විමර්ශන නිලධාරීන්ගේ භූමිකාව ජනමාධ්‍යවේදීන් ඉටුකිරීමට උත්සාහ ගැනීමෙන් විමර්ශනවලට බාධා සිදුවන බව ද මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙහිදී නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයේදී සඳහන් කර ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ හෝටලයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ සිදුවීමක් ද මේ පිටුපස ඇතැයි සැක මතුවන බවයි. එම නිසා මේ අත්අඩංගුවට ගැනීම පෞද්ගලික හේතුවක් මත සිදුවූ කරුණක් ද යන සැකය ඇති වන්නේ යැයි ද නීතිඥවරයා අවධාරණය කර ඇත.
මේ කරුණු සඳහන් කරමින් විවෘත අධිකරණයේදී නීතිඥවරයා සඳහන් කර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බැහැරව නීතිය අවභාවිතවීම හෝ එවැනි උත්සාහයන් පිළිබඳව සියලු පාර්ශ්ව අවධානයෙන් සිටිය යුතු බවයි.
(Thetime.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart