March 7, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව රතු මුහුදේ ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය ප්‍රමුඛ ‘සෞභාග්‍යයේ ආරක්ෂකයා’ මෙහෙයුමේ කොටසක් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රකාශ කළ බවට ‘නිව්ස් ෆස්ට්’ වාර්තා කරයි.

ඒ අනුව එම නෞකාව දින 22ක කාලයක් අදාළ මෙහෙයුම සඳහා සම්බන්ධ වී තිබේ.

‘නිව්ස් ෆස්ට්’ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අන්තර්ජාතික සමුද්‍රීය ආරක්ෂක ප්‍රයත්නයන් සඳහා ගජබාහු නෞකාවේ දායකත්වය පිළිබඳ පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාව රහසිගතව යොදවා ඇති බව නාවික හමුදාපතිවරයා එහිදී ප්‍රතික්ෂේප කර තිබේ.

එවැනි මෙහෙයුම් සිදු කිරීමේදී එහි රහසිගත ස්වභාවය සහතික කළ යුතු බවඔහු අවධාරණය කර ඇත.

රතු මුහුදේ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපෑ බැවින් කලාපීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නාවික හමුදාව කැපවී සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

නාවික හමුදාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව, සාගර නීති සම්මුතියට අත්සන් කර ඇති රටක් ලෙස, මුහුදේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.

ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (CMF) යනු බහුජාතික සමුද්‍ර හවුල්කාරිත්වයකි.

එය මහ මුහුදේ නීති විරෝධී රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීමෙන් සහ දළ වශයෙන් වර්ග සැතපුම් මිලියන 3.2ක් පුරා ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම මගින් අන්තර්ජාතික නියෝග (RBIO) ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වේ.

අන්තර්ජාතික මුහුදේ සැතපුම් ගණනකට ආදාළ ලෝකයේ වැදගත්ම නැව් මංතීරු කිහිපයක් එමගින් ආවරණය කරයි.

එක්සත් ජනපද නාවික හමුදාව විසින් පිහිටුවන ලද ඒකාබද්ධ සමුද්‍රීය බලකාය සාමාජික සහ හවුල්කාර රටවල් 41කින් සමන්විත වන අතර මුහුදු කොල්ලකෑම් තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරයි.

වසර ගණනාවක් පුරා, මෙම බලකාය මුහුදු කොල්ලකරුවන් තීරණාත්මක මුහුදු මංතීරුවලට රිංගා ගැනීම සාර්ථක ලෙස වළක්වා තිබේ.

“2011 වසරේ කලාපයේ කොතැනක හෝ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් තීව්‍ර විට මුහුදු කොල්ලකරුවන්ගේ එම ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා නැව් ගණනාවක් යෙදවීමත් සමඟ ඒකාබද්ධ සමුද්‍ර බලකාය සක්‍රීය කෙරුණා,” යැයි නාවික හමුදාපතිවරයා විස්තර කළේය.

“ඔපරේෂන් ප්‍රොස්පිරිටි ගාඩියන්” මෙහෙයුම දියත් කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ද එම කලාපය වෙනුවෙන් වත්කම් යෙදවීමට හැකි නම් එය වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ඔහු පැවසීය.

“තත්ත්වය තේරුම් ගත් ජනාධිපතිවරයා අප යෙදවිය යුතු බව සඳහන් කළා,” යැයි පැවසූ ඔහු ශ්‍රී ලංකාව යොදවා තිබුණේ රතු මුහුදට නොව ඉන්දියානු සාගර කලාපයේ 150 ඒකාබද්ධ කාර්ය සාධක බලකායට බව සඳහන් කළේය.

නාවික හමුදාපතිවරයාට අනුව, ඒකාබද්ධ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන කාර්ය සාධක බලකායන් පහෙන් එකක් වන ඒකාබද්ධ කාර්ය සාධක බලකාය 153 රතු මුහුදේ මෙහෙයුම්වලට අයත් වේ.

153 බලකායේ මෙහෙවර වන්නේ රතු මුහුද, බාබ් අල්-මැන්ඩෙබ් සහ ඒඩන් බොක්ක ආදී අන්තර්ජාතික සමුද්‍රීය ආරක්ෂාව සහ ධාරිතාව ගොඩනැගීමේ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කිරීමයි.

ඒකාබද්ධ සමුද්‍ර හමුදාවට අනුව,150 බලකාය අරාබි ගල්ෆ් කලාපයෙන් පිටත සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් සිදුකරන්නේ නීත්‍යනුකූල වාණිජ නැව් ගමනාගමනයට රාජ්‍ය නොවන තර්ජනවලින් තොරව කලාපයේ යාත්‍රා කළ හැකි බව සහතික කිරීම සඳහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පැවසුවේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව 150 බලකාය වෙත යෙදවූ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවයි.

“අපි බෝට්ටුවක් ඇල්ලුවා, නමුත් එය දිවා කාලයේ සිදු වුණේ. දිවා කාලයේ අපගේ පැමිණීම දුදු ගමන් එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ නීති විරෝධී භාණ්ඩ මුහුදට දමා තිබෙනවා. ඔවුන් ප්‍රවාහනය කරමින් සිටියේ ICE නොහොත් ක්‍රිස්ටල් මෙත් කිලෝග්‍රෑම් 200ක් පමණ.” යනුවෙන් නාවික හමුදාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු “සෞභාග්‍යයේ ආරක්ෂකයා” මෙහෙයුම වෙත යෙදවීමෙන් රජයට කිසිදු අමතර වියදමක් දැරීමට සිදු නොවූ බවට නාවික හමුදාපතිවරයා සහතික විය.

කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් Prosperity Guardian මෙහෙයුමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව එහි සගයන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කර තිබේ.

ජනවාරි 03 වැනිදා කොළඹදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යේමනයේ හූතිවරුන්ට එරෙහි අන්තර්ජාතික ප්‍රයත්නයන්ට එක්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හෙළි කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් රතු මුහුදට යෙදවීම සම්බන්ධයෙන් ද නිවේදනය කළේය.

එම නියෝගය මත ක්‍රියා කළ ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙහයුම සඳහා යාත්‍රා සකස් කිරීම ආරම්භ කළේ ඉන් අනතුරුවය.