March 6, 2024

නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයන්ට පහරදීමේ සිද්ධියෙන් පසු රාජකාරී නොකළ දුම්රිය සේවකයන් හය දෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී දුම්රියේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (පෙ.ව. 5.55 ට) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පිටත් වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ පළමු පන්තියේ ප්‍රවේශපත්‍ර විදේශිකයන් දෙදෙනකු සතුව නොතිබීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුව තිබේ.

ඒ අනුව එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

නාවලපිටිය දුම්රිය ස්ථානයේදී දුම්රිය සේවකයන් සංචාරකයන් දෙදෙනෙකුට පහරදී බලහත්කාරයෙන් දුම්රියෙන් ඉවත් කර ඇති බව වාර්තා විය.

මෙම සංචාරකයන් පළමු පන්තියේ මැදිරියක ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයකුට පමණක් වලංගු ටිකට්පතක් තිබී ඇත.