December 1, 2023

මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබෙන මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා යෙදවීමට නොහැකි වන පරිදි, එම මුදල් විශේෂයෙන් යෙදවිය යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි පනවා මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත සංශෝධනය කිරීමට ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ලැබී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

එම අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ අදහස් දක්වමින් පවසා ඇත්තේ, මීට වසර දෙකකට පෙර ණය බරින් මිරිකී සිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් උත්පාදනය 614%කින් ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට සීගිරියේ හිරු උදාවේ සුන්දරත්වය විදේශිකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව සලසාදීමෙන් ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට අධික මුදලක් උපයා ගන්නා බවද ඒ හෙතෙම අනාවරණය කර තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ සීගිරිය අවට සංචාරකයින් තවදුරටත් ආකර්ෂණය කර ගත හැකි අංශ හඳුනා ගනිමින් පවතින අතර එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක ආධාරයක් ලැබීමට නියමිත බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා සේවකයන් බඳවා ගන්නා ලෙසත් දැනට සේවයේ නියුතු ස්ථිර නොකළ සේවකයන් 286 දෙනා ස්ථිර කිරීමට පියවර ගන්නා ලෙසත් නිලධාරීන් කමිටුවෙන් ඉල්ලා ඇත.

ඒ අනුව පවතින නීති රාමුව තුළ මැදිහත් වීමට කමිටුව එකඟවී තිබේ.