November 29, 2023

විදෙස් සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අලුයම වස්කඩුවේ දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් සංචාරකයන් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලිසිය සඳහන් කරයි.

අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ රථයේ ගැටී ඇත.

චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංචාරකයන් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යෑමට බසය පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබේ.

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් පෙරවරු 09ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයන් පිරිසක් බසයේ සිට ඇති බවද සදහන් වේ.

අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව තිබේ.

දුම්රිය රියදුරු ද ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට පත් දුම්රියේ සිටි මගීන්ට මරදාන බලා ධාවනය වන වෙනත් දුම්රියකින් ගමන් පහසුව සැලසීමට කටයුතු කර තිබේ.

සංචාරකයන් රැගත් බස් රථයේ ඉදිරි පෙළ ඉදිරිපෙළ අසුනේ සිටි සංචාරක මගපෙන්වන්නා ප්‍රකාශ කර ඇත්තේ, මෙම දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් හරිහැටි දුම්රිය දර්ශනය නොවූ බවත්, දුම්රියේ විදුලි ලාම්පු නිවා දුම්රිය පැමිණි බවත් බස් රථය ආසන්න වෙද්දී වෙද්දිත් ම දුම්රිය විදුලි පහන් දැල්වූ බවත්ය.