November 28, 2023

මරණ පරීක්ෂණයක් සිදුකර සිරුර භූමදාන කිරීමෙන් දින තුනකට පසු මියගිය පුද්ගලයා මව හා ඥාතීන් සමග ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් පිළිබඳව ගම්පොළ පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇත.

ලංකාදීප පුවත්පත වාර්තා කරන ආකාරයට කතාව මෙසේය.

ගම්පොළ බස් නැවතුම්පොළේ දී පුද්ගලයකු හෘදයාබාධකයකින් මීට මාස දෙකකට පෙර මියගියේය.

හඳුනාගැනීමට නොහැකි වීමෙන් ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත දේහය මාස දෙකක පමණ කාලයක් තබා තිබිණි.

ඒ අතර පොලිසිය මොහුගේ ඥාතීන් පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඔවුහු උඩහේන්තැන්න මේරිවිල වත්ත පහළ කොටසේ පදිංචිකරුවෝ වෙති.

ඒ අනුව මියගිය අයගේ මව, සහෝදරයා ඇතුළු එම පිරිස ගම්පොළ රෝහලට පැමිණ මළ සිරුර හඳුනාගනු ලැබූ අතර මව පවසා ඇත්තේ මියගොස් ඇත්තේ ලාසර් මයිකල් නමැති 59 හැවිරිදි තම පුතා බවය.

සහෝදරයා හා ඥාතීන් ද එම මළ සිරුර හඳුනාගැනීමෙන් පසු හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක එම මළ සිරුර නිදහස් කළ අතර, පිරිස මළසිරුර මේරිවිල වත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ගරුබුහුමන් පවත්වා ආගමික කටයුතුද සිදුකර දින දෙකකට පසු භූමිදානය කර ඇත.

මියගියා යැයි කී තැනැත්තා සිද්ධියෙන් දින තුනකට පසු නිවසට පැමිණ “අම්මේ මම ගෙදර ආවා” යැයි පැවසීම නිසා පිරිස කලබල වී “උඹ ගම්පොළදී මැරිලා හිටියා. අපි උඹ ගෙදරට ගෙනත් වළ දැම්මා යැයි සඳහන් කර ඇත. “නෑ අම්මේ මම ගම්පොළ පැත්ත පළාතෙ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ යැයි කිවූ නිසා එම මව සහෝදරයා හා ඥාතීන් එක්ව එම මියගිය අය ද කැඳවාගෙන මෙසේ මරණ පරීක්ෂකවරයා හමුවී තිබිණි.

මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සිද්ධිය විස්තර කර ඇත්තේ මළ ගෙදරට රුපියල් හැත්තෑ දාහක් විතර වියදම් වුණා යනුවෙන් පවසමිනි.

ඒ අනුව භූමිදානය කෙරුණු පුද්ගලයා ගැන මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත ගම්පොළ පොලීසිය පරීක්ෂණයක් කළේය.

මියගියයි බව සඳහන් කළ ලාසර් මයිකල් නමැති පුද්ගලයා දෙදරු පියකු වන අතර ඔහුගේ බිරිය ඔහු හැරගොස් තිබිණි.

ඉන්පසුව ඔහු තම දරුවන්ගේ නිවෙස්වල ද, විවිධ රැකියා කිරීම සඳහා එම නිවාසවලින් පිටද සිටීමට පුරුදු වී ඇත.

අවසාන කාලයේ මොහු නාවලපිටිය ප්‍රදේශයේ දියණියගේ නිවසේ සිට ඇති අතර, වැඩිපුරම කාලය ගත කර ඇත්තේ නාවලපිටිය නගරයේ හෙයින් දුවගේ නිවසට ද බොහෝ කලකින් ගොස් නැත.

අවසාන ලෙස සහෝදරයා ද මීට මාස තුනකට පෙර ගම්පොළ නගරයේ දී මොහු දුටු බව මරණ පරීක්ෂකවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.