November 27, 2023

ගාලු කොටුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අයකිරීමට ගාලු උරුමය පදනමට කිසිසේත්ම අවසර නොදෙන බවත්, එවැනි පියවරකට යන්නේ නම් ඒ සඳහා ඉඩ නොතබන බවත්, සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පවසයි.

ගාලු කොටුවේ ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් සමග පෙරේදා (25) ගාලු කොටුව සුධර්මාලය විහාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ගාලු කොටුවට ඇතුළු වන සංචාරකයන්ගෙන් ඩොලර් 15ක මුදලක් අයකිරීමට ගාලු උරුමය පදනම තීරණය කර ඇති බව මීට පෙර වාර්තා විය.

මෙම මුදල් අය කිරීමේ තීරණයට විරෝධය පළකරමින් ගාලු කොටුවේ පදිංචි ප්‍රදේශවාසීන්, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ව්‍යාපාරවල නිරතව සිටින පුද්ගලයන් ගාලු උරුමය පදනමට ලිපියක්ද බාරදී ඇති අතර, ඉන් පසු අඛණ්ඩව මෙම තීරණයට විරෝධය පළකරමින් කළු කොඩි විරෝධතාවක්ද ආරම්භ කර ඇත.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පවසා තිබේ.

”ගාලු උරුමය කියන්නේ අපේ උරුමයක්. ගාල්ලේ අපිට දැනුම්දීමක් නොමැතිව දේශපාලන අධිකාරියේ කිසිම කෙනකු දැනුවත් කරලා නැතිව, එවැනි තීන්දුවක් ගැනීම සම්පූර්ණම වැරැදි කාරණයක්. අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න
විදානපතිරණට කතා කළා. විදේශගතව සිට පැමිණි ගමන් විදුර වික්‍රමනායක ඇමැතිවරයා දැනුවත් කළා. එවැනි දෙයක් මෙහේ කරන්න ඉඩදෙන්නෙ නැති බව පැහැදිලිව ප්‍රකාශ කළා. ඇමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ඒවගේ දෙයක් කරන්නේ නැහැයි කියලා. කොටුවට ඇතුළු වන සංචාරකයන්ගෙන් මුදල් අය කරන්නත් බෑ. එහෙම දෙයක් කරන්නත් බෑ. ඒක ඉතාම පැහැදිලි. ඒ නිසා ඔබතුමාලා කවුරුවත් කලබල වෙන්න එපා. ඒක අපි හැමදෙනාටම වගේම සංචාරක ක්ෂේත්‍රයට බලපාන කාරණයක්.

ගාලු කොටුව කියන්නේ මුදල් අය කරන්න පුළුවන් තැනක් නෙමෙයි. සෘජුව දාහකට ආසන්න පිරිසක් සහ තව දස දහසකට ආසන්න යැපෙන්නන් පිරිසක් ඉන්නවා. සංචාරකයන් ගාල්ලට එන්නේ මේකේ අලංකාරය බලලා රසවිඳලා විවේක අරගෙන යන්න. ඒක නිසා මුදල් අයකරන එක බාධාවක්. මහජනතාවගේ උදව්වෙන් මිසක් වෙන ආකාරයකින් මෙය සංරක්ෂණය කරන්න බෑ. ඒ නිසා කිසිම අවස්ථාවක ඇතුළුවීමේ ගාස්තුවක් ලෙස මෙහෙම මුදල් අය කිරීමේ තීන්දු අනුමත කරන්නෙත් නෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ. මේක සාමූහික තීන්දුවක්. සාමූහික ජයග්‍රහණයක්.”