October 22, 2023

මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡාවක් පවත්වා අතර, ඒ අනුව අදාළ ප්‍රතිපත්තිය සැකසීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත.

දැනට බීඩි කොළ කිලෝවක් සඳහා අයකරන රුපියල් 5000ක සෙස් බද්ද ඉවත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.

බීඩි කොළ ආනයනයේදී අයකරන රුපියල් 5000ක සෙස් බද්දට අමතරව එක් බීඩියකින් රුපියල් දෙකක මුදලක් රජය අය කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ ක්‍රමය හඳුන්වා දී ඇති
නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ඉහත
සාකච්ඡාවේදී හෙළිදරව් වී තිබේ.

බීඩි කොළ කිලෝවකට අයකරන සෙස් බද්ද හේතුවෙන් හොර පාරෙන් රටට විශාල වශයෙන් බීඩි කොළ පැමිණෙන බවට ද මෙහිදී තොරතුරු වාර්තා වී ඇත.

එමනිසා බීඩි කර්මාන්තය විධිමත් කරමින් සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු ද විධිමත් කිරීමට මෙහිදී තීරණය වී තිබේ.

බීඩි කර්මාන්තයේ 700ක පමණ පිරිසක් මේ වන විට යෙදී සිටින බැවින් බීඩි කොළ ගෙන්වීමේ දී අයකරන සෙස් බද්ද ඉවත් කොට එක් බීඩියකින් අයකරන බදු මුදල රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමට තීන්දු වී ඇත.

සෙස් බද්ද ඉවත් කළ ද ලැබෙන ආදායම කිසි ලෙසකින් අඩු නොවන ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර තිබේ.

මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ සමග ඉහත ප්‍රතිපත්ති මාලාව සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.