November 25, 2026

දිවයිනේ ප්‍රමුඛ පෙළේ අවමංගල්‍ය සේවා සපයන ආයතනයක් වන ‘ජයරත්න ෆියුනරල් ඩිරෙක්ටර්ස්’ (Jayaratne Funeral Directors (Pvt) Ltd) සමාගමේ අධ්‍යක්ෂවරියකට සහ ඇගේ පවුලේ සාමාජිකයින්ට අපහාස වන අයුරින් විකෘති කරන ලද අන්තර්ගතයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවකු දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය නියෝග කළේය.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයකු බවට හඳුනාගෙන ඇති මෙම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අදාළ සමාගමේ අධ්‍යක්ෂවරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි. හඬපටයක් සහ ඡායාරූපයක් විකෘති කර සමාගම් අධ්‍යක්ෂවරියට සහ ඇගේ පවුලේ සාමාජිකයින්ට අපහාස වන අයුරින් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය යටතේ ගැනෙන ලිංගික හිරිහැර කිරීමේ චෝදනා මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහයේ 486 සහ 285 යන වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය හමුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න පවසා ඇත්තේ, අදාළ විකෘති කළ වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 5,000කට ආසන්න පිරිසක් නරඹා ඇති බවත්, එමගින් තම සේවාදායිකාවට සහ ඇගේ පවුලේ සාමාජිකයින්ට හානියක් සිදුව ඇති බවත්ය.

තවද, මෙම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන් මුහුණ දුන් මානසික කම්පනය, පීඩාව, කීර්තිනාමයට සිදු වූ හානිය සහ ලිංගික හිරිහැරය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.