November 23, 2026

ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබියදීත්, කන්කසන්තුරේ වරාය සහ යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන්නේ ඉතා අඩු උනන්දුවක් බව විදුතලෛ චිරුතෛගල් පක්ෂයේ නායක සහ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය තොල් තිරුමාවලවන් චෝදනා කරයි.

එම සංවර්ධන කටයුතු හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ආර්ථික වර්ධනයක් ඇති වේ යැයි පවතින බිය හේතුවෙන් මෙම පහසුකම් දෙක සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය මැලිකමක් දක්වන බව ඔහු පැවසීය.

යාපනය මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිරුමාවලවන් කියා සිටියේ, පසුගිය දින කිහිපය තුළ යාපනයේ පැවැති මීදුම සහ වායු දූෂණය හේතුවෙන් දෘශ්‍යතාව අඩු වී ගුවන් යානා ගොඩබෑමට නොහැකි වීම නිසා යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන්වලට බාධා එල්ල වූ බවයි.

එම ගුවන්තොටුපළේ ධාවන පථ ආලෝක පද්ධති පවා සවි කර නොමැති බව දැනගැනීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බව ද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය ඉන්දීය ව්‍යාපාරිකයන් සහ ප්‍රධාන පෙළේ ආයෝජකයින් සෘජුවම යාපනයට පැමිණීම අධෛර්යමත් කරන්නක් බවත්, ඒ හරහා ඔවුන්ට කොළඹ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට බල කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට කන්කසන්තුරේ වරාය සහ යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව පෙන්වා දුන් ඉන්දීය මන්ත්‍රීවරයා, මෙම ස්ථාන දෙක පවරාගෙන සංවර්ධනය කිරීමට ඉන්දියාව සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇති බව ද සිහිපත් කළේය.

රජයේ මෙම ප්‍රවේශයට දකුණේ අවශ්‍යතා බලපා ඇති බවත්, සියලු වාණිජ සබඳතා කොළඹ හරහා පමණක් සිදුවිය යුතු බවට වන මතය මත එය පදනම් වී ඇති බවත් තිරුමාවලවන් චෝදනා කළේය.

යාපනය ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමේ ප්‍රගතියක් නොමැති වීම සම්බන්ධයෙන් තමා ඉන්දීය රජයේ අවධානය යොමු කරන බවත්, ඒ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.