November 22, 2026

හිස් කහ පැහැති ගෑස් සිලින්ඩර නිල් පැහැයෙන් යළි පින්තාරු කර ඒවා Litro ගෑස් සිලින්ඩර ලෙස පෙන්වා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියකු සහ පුතකු ඇතුළු සැකකරුවන් තිදෙනකු දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටදෙණියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

අලුතින් පින්තාරු කරන ලද මෙම සිලින්ඩර පැරණි සහ මීට පෙර භාවිත කළ ඒවා ලෙස පෙන්වීම සඳහා සැකකරුවන් විසින් සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කළ සිලින්ඩර ලෙස පෙනෙන පරිදි පෑන්කේක් මිශ්‍රණයේ ඉතිරි කොටස් සහ මිරිස් හොදි ඇතුළු ආහාර අපද්‍රව්‍ය මෙම සිලින්ඩරවල තවරා තිබූ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.