November 20, 2026

අමෙරිකාවේ සින්සිනාටි සත්වෝද්‍යානයේ සිටි, ලොව පුරා මහත් ආදරයට හා ජනප්‍රියත්වයට පත්ව සිටි ‘ෆියෝනා’ නමැති හිපපොටේමස් ගැහැණු සත්වයා, ඇය වාසය කළ කූඩුව තුළට අහම්බෙන් වැටුණු ගෙතූ තොප්පියක් ගිල දැමීම හේතුවෙන් වයස අවුරුදු 9 දී මිය ගොස් ඇති බව එම සත්වෝද්‍යානය නිවේදනය කර තිබේ.

සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් වූ ෆියෝනා හට සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කණ්ඩායම සහ සත්ව පාලක කාර්ය මණ්ඩලය විසින් පැය 24 පුරාම විවිධ ප්‍රතිකාර ලබා දුන්නද ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. ෆියෝනා කුඩා කල සිට වැඩෙන අයුරු දැක බලා ගත් සින්සිනාටි නුවර සහ ඉන් පිටත සිටින බොහෝ රසිකයන් හට ඇයගේ මෙම අභාවය දැඩි කම්පනයක් ගෙන දී තිබේ.

“මේ මොහොතේ අපි දැඩි කම්පනයට පත්ව සිටිනවා,” යැයි සින්සිනාටි සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ඩේව් ජෙනික් බ්‍රහස්පතින්දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කළේය. “අපි මෙවැනි අවසානයක් බලාපොරොත්තු වුණේ නැහැ. තවදුරටත් දරාගත නොහැකි වන තුරුම ඇය ජීවිතය වෙනුවෙන් සටන් කළා.”

පශු වෛද්‍යවරුන් මෙන්ම මානව වෛද්‍ය විශේෂඥයින් සමඟ ද සාකච්ඡා කළ සින්සිනාටි සත්වෝද්‍යානය පවසන්නේ, රාත්තල් 2,000කට වඩා බරින් යුත් මෙම සත්වයාට ශල්‍යකර්මයක් කිරීම විකල්පයක් නොවූ බවයි.

“ඇයගේ ශරීර පද්ධතියෙන් එම තොප්පිය ඉවත් කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ නමුත්, අවසානයේදී එය ජය ගැනීමට නොහැකි තරම් බරපතළ තත්ත්වයක් වුණා,” යැයි සත්වෝද්‍යානය පැවසීය.

එම සත්වයා බේරා ගැනීමේ උත්සාහයක් ලෙස අවශ්‍ය උපකාරක ප්‍රතිකාර ලබා දුන්නද, එය සාර්ථක නොවූ බවත් ඇය යළි සුවය නොලැබූ බවත් සත්වෝද්‍යානය පැවසුවේය.