November 20, 2026

බීමතින් රිය පැදවීමේ චෝදනාවට වරදකරු වූ 58 හැවිරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පොලීසියට අනුව, අදාළ රියදුරු මාර්ග අංක 05 ඔස්සේ කොළඹ සිට කුරුණෑගල බලා බස් රථය ධාවනය කරමින් සිටියදී, බ්‍රහස්පතින්දා (19) සංඝරාජ මාවතේදී පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙස මරදාන පොලිස් ස්ථානයට අනුයුක්ත රථවාහන නිලධාරීන් සංඥා කර ඇත.

කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා රියදුරු බස් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පසුව නිලධාරීන් ලුහුබැඳ ගොස් බස් රථය නතර කර තිබේ.

එහිදී සිදු කළ පරීක්ෂාවේදී රියදුරු බීමතින් සිටින බවට නිලධාරීන්ට සැක පහළ වී ඇත. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී තිබේ.

නාරම්මල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෙම සැකකරු අලුත්කඩේ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී සැකකරුට රුපියල් 35,000ක දඩයක් නියම කළ අධිකරණය, ඔහුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට ද නියෝග කළේය.