November 20, 2026

අනුමැතියකින් තොරව පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටින රන්තපුර ෆර්ගසන් විද්‍යාලයේ විදුහල්පතිනි මර්සි ගලගම සහ බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි විශාකා රාජපක්ෂ සේවයෙන් ඉවත් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පසුගිය 14 වැනිදා ඔවුන් දෙදෙනා ගොස් ඇත්තේ චීනයට ය. මෙම සංචාරයට ඔවුන් එක් වී ඇත්තේ පෞද්ගලික ආයතනයක අනුග්‍රහය මත යැයි ද ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව අමාත්‍යාංශය ඉහත පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

දෙමවුපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම විදුහල්පතිනියන් සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් විමර්ශන ද පැවැත්වෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද ඔවුන් දෙදෙනාම අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිනියන් වන අතර විශාකා රාජපක්ෂ නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන සමයේ දී ද විවිධ චෝදනා එල්ල වී තිබිණි.

(උපුටාගැනීම – අරුණ පුවත්පත)