November 18, 2026

නිකායෙන් නෙරපා හරින ලද රාජාංගණයේ සද්ධාරතන, අනුරාධපුර රුවන්වැලිමහා සෑය සත්‍යග්‍රහ භූමිය අසල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිදුවීම අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් පසු ඔහු අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක නිරතව සිටි අනුරාධපුර පූජා නගරයේදී පසුගිය නොවැම්බර් 12 වැනිදා ඇති වූ ගැටුමකට අදාළවය.

සද්ධාරතන ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ උපවාසකරුවන් සමඟ බහින්බස් වීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය ගැටුමක් දක්වා වර්ධනය විය.

එම ගැටුම අතරතුර හිසට තුවාල ලැබූ සද්ධාරතන රෝහල්ගත කෙරුණු අතර, පොලිසිය මැදිහත් වී බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.