November 18, 2026

නකල්ස් සිද්ධියට මුහුණ දුන් 15 හැවිරිදි දැරියගේ සුබසාධනය සහ අඛණ්ඩ අධ්‍යාපන කටයුතු තහවුරු කිරීම සඳහා ඇයට මාසික දීමනාවක් ලබා දීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඇය අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව සම්පූර්ණ කරන තෙක් හෝ ඇයගේ කැමැත්ත පරිදි උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය පුහුණුවකට යොමු වන තෙක් රජයේ ‘අර්ථ’ වැඩසටහන යටතේ මෙම දීමනාව පිරිනැමීමට නියමිතය.

අදාළ දැරිය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට ලියාපදිංචි වී සිටියි. ඇයගේ විභාග සූදානම් වීමේ කටයුතුවලට සහාය වීමක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ඇයට මනෝ-සමාජීය උපදේශන සේවා සලසා දෙන ලෙසද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැකවරණය ලබන දරුවන්, පරිවාස භාරයේ පසුවන දරුවන් සහ වීදි දරුවන් වෙනුවෙන් ‘අර්ථ’ වැඩසටහන මගින් මූල්‍යාධාර සපයනු ලබයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් මාසිකව දරුවන් 9,000කට පමණ ප්‍රතිලාභ හිමි වේ.