November 18, 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2026 නොවැම්බර් මස 17 වැනි දින තලෙයිමන්නාරම, පේසාලෙයි සහ පුත්තලම, උච්චමුනේ මුහුදු ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ජාවාරම් කිරීමට උත්සාහ කළ රන් කිලෝ 4කට අධික තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනකු සහ ඩිංගි යාත්‍රා 2ක් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට ලද තොරතුරකට අනුව පේසාලෙයි මුහුදේ සිදුකළ මෙහෙයුමකදී, වැලි උරයක සඟවාගෙන යාත්‍රා කළ රන් කිලෝ 1යි ග්‍රෑම් 410ක පමණ තොගයක් සමඟ පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 සහ 28 පසුවන සැකකරුවන් දෙදෙනකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කන්කසන්තුරය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදී ඇත.

එමෙන්ම, වයඹ නාවික විධානයට ලද තොරතුරක් මත පුත්තලම උච්චමුනේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් මෙහෙයුමකදී, ඉන්ධන කෑනයක සූක්ෂම ලෙස අසුරා ප්‍රවාහනය කරමින් තිබූ රන් කිලෝ 3යි ග්‍රෑම් 25ක පමණ තොගයක් සමඟ කල්පිටියේ පදිංචි වයස අවුරුදු 40 සහ 50 වන සැකකරුවන් දෙදෙනකු සහ තවත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් සහ භාණ්ඩ කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී ඇත.

ජාවාරම්කරුවන් විසින් මෙම රන් තොගය දකුණු ඉන්දියාව වෙත රැගෙන යෑමට උත්සාහ කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පළකරයි.