November 17, 2026

වටවල, ටෙම්පල්ස්ටෝ වත්ත ප්‍රදේශයේ පාසලකින් ලබා දුන් උදෑසන ආහාර වේලක් අනුභව කිරීමෙන් පසු හදිසියේ රෝගාතුර වූ පාසල් සිසුන් 35 දෙනකු අද වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

අද උදෑසන පාසලෙන් ලබා දුන් බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් සහිත ආහාර වේල ගැනීමෙන් අනතුරුව දරුවන්ට වමනය, ක්ලාන්තය සහ පපුවේ අපහසුතා ඇති වී තිබෙන බව වාර්තා වේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, එම විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

කෙසේ වෙතත්, දරුවන්ගේ තත්ත්වය බරපතල නොවූ බවත්, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඔවුන් මව්පියන් සහ ගුරුවරුන් වෙත භාර දීමට පියවර ගත් බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබේ.

මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ද රෝහල වෙත පැමිණ දරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

ආහාර විෂවීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි සැක කෙරෙන අතර, වටවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ ලබාදුන් උපදෙස් මත පොලීසිය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.