November 16, 2026

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොවැම්බර් මස 30 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය විමල් වීරවංශට යළි නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හරහා අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව මීට පෙර ද විමල් වීරවංශට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණද, නියමිත දිනයේදී ඔහු අධිකරණය හමුවට පැමිණ නොතිබිණි. ඒ අනුව, පැමිණිල්ල යළි සලකා බැලූ අභියාචනාධිකරණය නොවැම්බර් 30 වැනි දින පෙනී සිට කරුණු දක්වන ලෙස ඔහුට යළි නොතීසි නිකුත් කිරීමට තීරණය කර තිබේ.