November 16, 2026

දිවයින පුරා ආරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ නව මධ්‍යස්ථානයක් අනුරාධපුරයේදී විවෘත කර තිබේ.

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති යටතේ ස්ථාපිත කරන ලද මෙම මධ්‍යස්ථානය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අතින් නිල වශයෙන් විවෘත කෙරිණි.

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ආහාරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම, ගුණාත්මක ආහාර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම, සහතික කිරීම සහ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබයි. ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රමවේද හඳුන්වා දීම මෙම දීපව්‍යාප්ත වැඩපිළිවෙළෙහි අරමුණයි.

මෙම උත්සවයට සමගාමීව, පලතුරු ප්‍රවාහනය පහසු කරවීම සඳහා ප්‍රදේශයේ පලතුරු වෙළෙඳුන් වෙත ප්ලාස්ටික් කූඩ බෙදා දීම ද සිදු කෙරිණි.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න සහ සේන නානායක්කාර , ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.