November 15, 2026

ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28ක් සම්බන්ධයෙන් සමාගමට රුපියල් 84,000 ක දඩයක් නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් ‘බින් චුන් ශ්‍රී ලංකා’ (Bing Chun Sri Lanka) සමාගම විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද පරීක්ෂාවන්ගෙන් අනතුරුව, සමාගම විසින් චෝදනා 28කට වරද පිළිගැනීමෙන් පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම දඩ මුදල නියම කර ඇත.

මෙම පරීක්ෂණ අතරතුර එකතු කරන ලද සාම්පල කොළඹ මහ නගර සභාවේ විද්‍යාගාරය මගින් පරීක්ෂා කර ඇති අතර, අයිස්ක්‍රීම් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවන බව එහිදී අනාවරණය වී තිබේ.

මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් ‘බින් චුන් ශ්‍රී ලංකා’ සමාගම ප්‍රකාශ කළේ, මෙම සොයාගැනීම් වැනිලා සහ චොක්ලට් අයිස්ක්‍රීම් ලෙස අලෙවි කරන ලද නිෂ්පාදන දෙකක මේද අන්තර්ගතය සහ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණයන් සම්බන්ධයෙන් පමණක් විශේෂිත වූවක් බවයි.

නිෂ්පාදන අපවිත්‍ර වී ඇති බවටත්, විෂ සහිත බවටත්, සෞඛ්‍යයට හිතකර නොවන බවටත් හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවටත් එම විද්‍යාගාර වාර්තා මඟින් සෘජුවම නිගමනය කර නොමැති බව සමාගම අවධාරණය කළේය.

“නිෂ්පාදනයක් නියමිත සංයුති ප්‍රමිතීන්ට අනුකූල වීම සහ නිෂ්පාදනයක් අනාරක්ෂිත හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වේ” යැයි සමාගම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආහාර නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම පිළිගත් ‘බින් චුන්’ සමාගම, අධිකරණ ක්‍රියාවන්ට සහ අධිකරණ තීන්දු වලට ගරු කරන බව ප්‍රකාශ කළේය. අදාළ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සඳහා නිෂ්පාදන වට්ටෝරු, ගුණාත්මක පිරිවිතර සහ විස්තර සමාලෝචනය කරමින් සිටින බව සමාගම නිවේදනය කළේය.

සුදුසු පරීක්ෂණ ක්‍රියා පටිපාටි හරහා තවදුරටත් නිෂ්පාදන තක්සේරු කිරීම් සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර, එහි මෙහෙයුම් පුරා අභ්‍යන්තර අධීක්ෂණය සහ තත්ත්ව සහතික කිරීමේ පියවරයන් ශක්තිමත් කරන බවද එමඟින් ප්‍රකාශ කෙරිණි.

සංයුති ප්‍රමිතීන්ට අනුකූල නොවී යාම, නිෂ්පාදනයක් මිනිස් සෞඛ්‍යයට අනතුරක් වන බවට ස්වයංක්‍රීය සාක්ෂියක් ලෙස අර්ථ නිරූපණය කිරීමෙන් වළකින ලෙස ‘බින් චුන්’ සමාගම මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ා සිටියේය.

තම කීර්තිනාමයට හානි කළ හැකි වැරදි, නොමඟ යවන සුළු හෝ අපහාසාත්මක ප්‍රකාශයන්ට එරෙහිව සිය නීතිමය අයිතිවාසිකම් රඳවා තබා ගන්නා බවද සමාගම ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම හේතුවෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ‘බින් චුන් ශ්‍රී ලංකා’ සමාගම සිය කණගාටුව ප්‍රකාශ කළ අතර, ප්‍රාදේශීය නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට සහ පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව පවත්වා ගැනීමට ඇති කැපවීම යළිත් තහවුරු කළේය.