November 14, 2026

පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික ගොවිපොළක ටික්ටොක් වීඩියෝවක් රූගත කරමින් සිටියදී බෙංගාල ව්‍යාග්‍රයකු විසින් සපාකෑමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ ගොවිපොළේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කානා ප්‍රදේශයේ පිහිටි වනජීවීන් අභිජනනය කරන ගොවිපොළක සේවය කරමින් සිටි තල්හා නැමැති තරුණයෙකි. සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම සත්වයා ඔහුට පහර දී ඇත.

පොලිසිය පවසන පරිදි, ටික්ටොක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නූමාන් හසන් මෙම සත්වයා යොදාගෙන වීඩියෝ පටිගත කිරීම සඳහා අදාළ ගොවිපොළට පැමිණ ඇති අතර, එහිදී පාලනයෙන් ගිලිහුණු සත්වයා තරුණයාට පහර දී ඇති බව වාර්තා වේ.

බරපතළ තුවාල ලැබූ තල්හා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් හසන් සහ ෆයියාස් නැමැති ගොවිපොළේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයාගේ තුවාල සුනඛයකු සපා කෑමෙන් සිදුවූ බව පවසමින් ඔහුගේ මරණයට හේතු වූ සැබෑ තත්ත්වය වසන්කිරීමට උත්සාහ කර ඇති බවට ද විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇත.

කෙසේවෙතත්, ඔහුට පහර දී ඇත්තේ බෙංගාල ව්‍යාග්‍රයකු විසින් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.

අදාළ සත්වයා පසුව පන්ජාබ් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

මෙම සත්වයා තබාගැනීමට ගොවිපොළට වලංගු බලපත්‍ර තිබුණේද සහ ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගෙන තිබුණේද යන්න පිළිබඳව බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුව ඇති නොසැලකිලිමත්කම සහ සත්‍යය වසන්කිරීමට ගත් උත්සාහය පිළිබඳව ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ගොනු කර ඇති අතර, මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබේ.

සමාජ මාධ්‍ය වීඩියෝ සඳහා භයානක වනසතුන් යොදාගැනීම සහ පාකිස්තානයේ පෞද්ගලික වනජීවී මධ්‍යස්ථානවල සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙම සිදුවීමත් සමඟ යළිත් දැඩි අවධානයක් යොමු වී තිබේ.