November 8, 2026

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වැනි අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථානවල ලියාපදිංචි සමාගම් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ව්‍යාපාර ද ආකර්ෂණය කරගනිමින්, කොළඹ පෝට් සිටි සිය අන්තර්ජාතික ව්‍යාපාරික කලාපය පුළුල් කරමින් සිටියි.

දෙවැනි මට්ටමේ මූලෝපායික වැදගත්කමකින් යුත් ව්‍යාපාර ලෙස ගැසට් කර ඇති නවතම සමාගම් 68 හි ඉදිරි පස් වසර සඳහා වන සමස්ත ආයෝජන කැපවීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 166.87 ක් පමණ වේ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය (IT), ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය සහ වෘත්තීය සේවා ක්ෂේත්‍රවල අන්තර්ජාතික ව්‍යාපාරික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස පෝට් සිටි පරිශ්‍රය කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වීම මෙයින් පිළිඹිඹු වේ.

2026 ඔක්තෝබර් 11 වැනි දිනැති පෝට් සිටි ගැසට් පත්‍ර පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණයකට අනුව, මෙම සමාගම් 68 මෙම වසරේ අප්‍රේල් 10 වන දින අංක 2483/18–85 දරන ගැසට් නිවේදන යටතේ ප්‍රකාශයට පත් කර ඇත.

එම ආයෝජන වර්ගීකරණයට අනුව, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි ලියාපදිංචි Bridge Stone Global සමාගම ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම දූපත්වලම ලියාපදිංචි Masterock සමාගම සහ Modern Mark Development සමාගම පිළිවෙලින් ඩොලර් මිලියන 1.18 ක සහ ඩොලර් 100,000 ක ආයෝජන ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ සහ විදේශීය බලප්‍රදේශවල ලියාපදිංචි කර ඇති නමුත්, මවු සමාගමක් සඳහන් කර නොමැති සමාගම් කිහිපයක් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ. ඩොලර් මිලියන 14.87 ක ආයෝජනයක් සහිත මැලේසියාවේ Casa BPO Sdn. Bhd., ඩොලර් මිලියන 45 ක ආයෝජනයක් සහිත ඇමරිකා එක්සත් ජනපදයේ Ren XYZ Inc. සහ ඩොලර් මිලියන 1 ක ආයෝජනයක් සහිත ඕස්ට්‍රේලියාවේ Kodez සමාගම ඊට අයත් වේ.

මවු සමාගමක් සඳහන් කර නොමැති අනෙකුත් ආයතන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි Aurion Engineering LLC (ඩොලර් 600,000) සහ කැනඩාවේ Pravy Consulting Inc. (ඩොලර් 100,000) වේ.

ප්‍රකාශිත ආයෝජන වර්ගීකරණය තුළ මවු සමාගමක් හඳුනාගෙන නොමැති අවස්ථාවලදී, පෝට් සිටි පද්ධතියට ඇතුළු වන ව්‍යාපාරවල හිමිකාරිත්ව ව්‍යුහයන් සහ එහි අවසාන ප්‍රතිලාභී හිමිකරුවන් පිළිබඳව ප්‍රශ්න මතුවේ. කෙසේ වෙතත්, අදාළ ලේඛනයේ මවු සමාගමක් සඳහන් කර නොතිබූ පමණින්ම, එම සමාගමට අවසාන ප්‍රතිලාභී හිමිකරුවකු නොමැති බව හෝ නියාමකයාට එහි හිමිකාරිත්වය හෙළි කර නොමැති බව අර්ථ නිරූපණය කළ නොහැක. (The Sunday Morning)