November 7, 2026

මේ දිනවල කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක කහ සහ සුදු පැහැති සමනලුන් විශාල වශයෙන් පියාසර කරනු දැකගත හැකිවන අතර, මෙම අසාමාන්‍ය දසුන මහජනතාවගේ අවධානයට මෙන්ම දැඩි කුතුහලයට ද හේතු වී තිබේ.

කොළඹ, ගාල්ල සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක සමනලුන් ලක්ෂ ගණනින් රංචු වශයෙන් එකම දිශාවකට පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතී.

Fact Crescendo ශ්‍රී ලංකා ආයතනය විසින් නිකුත් කරන ලද පැහැදිලි කිරීමට අනුව, මෙම තත්ත්වය මෝසම් වර්ෂාව, ශාකවල සිදුවන වෙනස්වීම් සහ බෝවීමේ රටාවන් සමඟ සබඳතාවක් පවතින සෘතුමය සමනල සංක්‍රමණයකි.

විශේෂඥයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සමනල සංක්‍රමණය සාමාන්‍යයෙන් කාලපරිච්ඡේද දෙකකදී සිදුවන බවයි. එහි ප්‍රධාන සංක්‍රමණය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී සිදුවන අතර, කුඩා මට්ටමේ සංක්‍රමණයක් මාර්තු සහ අප්‍රේල් අතර කාලයේදී සිදු වේ.

මෝසම් කාලගුණික විපර්යාස සමඟ ලැබෙන වර්ෂාපතනය නිසා සමනලුන්ට ආහාර සපයන සහ බෝවීමට සුදුසු ශාක වර්ධනය වන අතර, එමගින් උන්ගේ ගහනය ඉහළ යෑම සිදු වේ.

සමනල ගහනය වැඩිවීමත් සමඟ, බිත්තර දැමීම සඳහා සුදුසු ශාක සොයා ගැනීමට සහ සම්පත් සඳහා වන තරගකාරිත්වය අවම කරගැනීමට උන් විවිධ ප්‍රදේශ කරා සංක්‍රමණය වේ.

මෙසේ සංක්‍රමණය වන විශේෂ අතර Lemon Emigrant, Mottled Emigrant, Lesser Albatross සහ Common Albatross යන සමනල විශේෂ ප්‍රධාන වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල දිසානායක ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් 2024 වසරේදී Taprobanica විද්‍යාත්මක සඟරාවේ පළකරන ලද අධ්‍යයනයකින් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන සමනල සංක්‍රමණ මාර්ග හඳුනාගෙන තිබේ.

ස්ථාන 60 කින් තොරතුරු රැස්කර සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව, ප්‍රධාන සංක්‍රමණ මාර්ගයක් ගිනිකොන දෙස සිට වයඹ දෙසට විහිදී යයි.

කුමන ජාතික උද්‍යාන ප්‍රදේශයේ සිට විල්පත්තුව දක්වා කිලෝමීටර 280 ක පමණ දුරක් දින තුනක් හෝ හතරක් ඇතුළත මෙම සමනලුන් ගමන් කරන බව පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත.

සංක්‍රමණය වන Albatross සමනලුන්ගේ සාමාන්‍ය පියාසර වේගය පැයට කිලෝමීටර 11ක් පමණ වන බව ගණන් බලා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයේ හිටපු සභාපතිනිය Fact Crescendo වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, සෘතුමය වර්ෂාපතනය හේතුවෙන් විශේෂයෙන්ම වියළි කලාපයේ සමනලුන් බෝවීමට අවශ්‍ය ශාක හොඳින් වර්ධනය වන බවයි.

එලෙස වැඩි වන සමනල ගහනය, පසුව සුළං රටා සහ ශාක පවතින ආකාරය අනුව දිවයින පුරා ව්‍යාප්ත වන බව ඇය පවසයි.

කොළඹ බොරැල්ල ප්‍රදේශයේදී Lemon Emigrant සහ Mottled Emigrant යන සමනලයන් නැගෙනහිර සිට බටහිර දෙසට පියාසර කරනු තමන් ද පෞද්ගලිකව නිරීක්ෂණය කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සමනලුන් පියාසර කරන්නේ ශ්‍රීපාදය දෙසටද?

මෙම සෘතුමය සංක්‍රමණයත් සමඟ සමනලුන් ශ්‍රී පාදය (සමනල කන්ද) දෙසට පියාසර කරන බවට වන සාම්ප්‍රදායික විශ්වාසය ද නැවත කරළියට පැමිණ තිබේ.

විශේෂඥයන් පැහැදිලි කරන්නේ ඇතැම් සමනලුන් උස් ස්ථාන වටා රොක් වී සහකාරියන් සොයාගැනීමේ (hill-topping) හැසිරීමක් පෙන්වන බවයි.

කෙසේවෙතත්, පර්යේෂණවලින් පෙනී යන්නේ සංක්‍රමණය වන සමනලුන් බොහොමයක් විශේෂයෙන් ශ්‍රී පාදය දෙසට නොව වයඹ දෙසට ගමන් කරන බවයි.

මෙම සංක්‍රමණය ස්වාභාවික ආපදාවක පූර්ව සංඥාවක්ද?

සමනලුන් විශාල ලෙස දක්නට ලැබීමත් සමඟ මෙම ගමන වෙනත් ස්වාභාවික ආපදාවක් පිළිබඳ පෙරනිමිත්තක් විය හැකි බවට ද මත පළ වී තිබේ.

එහෙත් සමනල සංක්‍රමණය මගින් මහාපරිමාණ ස්වාභාවික ආපදාවක් ගැන අනාවැකි පළවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව පර්යේෂකයෝ පවසති.

වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය සහ සුළං රටාවන්හි වෙනස්වීම් කෙරෙහි සමනලුන් සංවේදී වුවද, උන්ගේ මෙම සංක්‍රමණය ආසන්න ආපදාවක් පිළිබඳ නිල අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය නොහැක.

දේශගුණික විපර්යාස, විපරීත වර්ෂාපතනය සහ ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය සමනල ගහනයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බව ද විශේෂඥයෝ පෙන්වාදෙති.

වර්තමානයේ විශාල සමනල සංඛ්‍යාවක් නිරීක්ෂණය වුවද, අතීතයට සාපේක්ෂව සමනල ගහනය සහ සංක්‍රමණ ක්‍රියාවලිය අඩුවී ඇති බව පර්යේෂණවලින් හෙළි වේ.

එබැවින් මෙම දසුන ඉදිරියේදී සිදුවන ආපදාවක සලකුණක් නොව, ස්වාභාවික සෘතුමය පාරිසරික චක්‍රයක කොටසක් ලෙස සැලකිය හැකිය.