November 6, 2026

භික්ෂූන් වහන්සේලාගේ නව හැඳුනුම්පත මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බුද්ධශාසන කටයුතු අමාත්‍යංශය පවසයි.

එම හැඳුනුම්පත මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රා යන්ත්‍රය මිලදී ගැනීමේ අවශ්‍යතාවක් පැවැතීම හේතුවෙන් එම හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද වන බව බුද්ධශාසන කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර ප්‍රකාශ කළේය.

භික්ෂූන් වහන්සේලාට මීට පෙර නිකුත් කරනු ලැබුවේ කාඩ්පතක් වන අතර එය මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රයෙහි අවශ්‍ය දත්ත සහ ලාංජන පැහැදිලි නොවීම නිසා නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සිදුව ඇති බවද ලේකම්වරයා පැවැසීය.

එසේ වුවද හැඳුනුම්පතක් හදිසි තත්ත්වයේ සිටින භික්ෂූන් වහන්සේලා හට වෙනත් ක්‍රමවේදයකින් හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කරයි.

නිරවුල් දත්තවලින් සමන්විත, රජය පිළිගත්, ඕනැම ස්ථානයකදී අනන්‍යතාවය හෙළිකළ හැකි නව මුහුණුවරකින් යුතු හැඳුනුම්පතක් භික්ෂූන් වහන්සේලාට නිකුත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබාදීමට අවශ්‍ය කටයුතු පසුගිය වසරේ සිට සම්පාදනය කළ අතර මහනායක හිමිවරුන්ගේ මගපෙන්විම මත එයට අවශ්‍ය දත්ත, විද්‍යාත්මක තොරතුරු කළමනාකරණය කිරිමද සිදු වුණි.

භික්ෂූන් වහන්සේලා සමාජයේ සක්‍රිය කටයුතුවල නිරතවන අවස්ථාවලදී සේම අධ්‍යාපන අධ්‍යක්ෂවරු, ගුරුවරුන්, ශිෂ්‍යයන් වශයෙන් කටයුතු කිරීමේදී නිරවුල් දත්තවලින් සමන්විත රජය පිළිගත් ඕනැම තැනකදී අනන්‍යතාවය හෙළිකිරීමට හැකි හැඳුනුම්පතක් භික්ෂූන් වහන්සේලා සතුවිය යතු බව එම අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

(උපුටාගැනීම – අරුණ පුවත්පත)