November 5, 2026

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේදී මියගිය ඇතෙකුගේ දළයක් කපා ඉවත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සෙබළෙකු නොවැම්බර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විමර්ශන අතරතුරදී සොයාගන්නා ලද නඩු භාණ්ඩ ද සමඟ සැකකරු අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

කහටගස්දිගිලිය, කයන්ගොල්ලෑව ප්‍රදේශයේදී මෙලෙස මියගොස් සිටි ඇතා සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් ඊයේ විශේෂ සෙවුම් මෙහෙයුමක් දියත් කර තිබුණි.

එහිදී ඇත් දළය කැපීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන යකඩ කියතක් සහ ඇතා මියගොස් සිටි ස්ථානයෙන් ලබාගත් බවට විශ්වාස කෙරෙන ශාක කොටස් කිහිපයක් සොයාගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව ඇත. මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ සැකකරුට අයත් වගා බිමක පිහිටි පැලක් තුළ තිබීය.

පසුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පෙට්‍රල් බෝතල් දෙකක් සහ අලි වෙඩි යොදා සකස් කරන ලද පුපුරන ද්‍රව්‍ය උගුලක් ද, ගෙවත්තේ තිබී බැඳපු තුවක්කුවක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව මියගිය ඇතාගේ දකුණු දළය සහ වම් දළයේ ඉතිරිව තිබූ කොටස වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.