November 4, 2026

බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය නොමැති වුවද මහජනතාවට නව බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කර ගැනීමට හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව මුදල් අමාත්‍යාංශය මඟින් පෙන්වා දෙයි. අදාළ සේවාවන් ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා එක්ව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වන්නේ, මේ වන විටත් TIN අංකයක් ලබාගෙන තිබුණද එහි සහතිකය ළඟ නොමැති පුද්ගලයන්ට, තමන්ගේ TIN අංකය පමණක් අදාළ ආයතන වෙත ලබාදීම ප්‍රමාණවත් වන බවයි.

තවද, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් (Email) ලිපිනය ලබාදීමෙන් මෙම සේවාවන් සපයා ගත හැකිය.

එලෙස ලබාගන්නා තොරතුරු පදනම් කරගනිමින්, අදාළ ආයතන හරහාම ලියාපදිංචි වීමේ කටයුතු පහසු කරමින් අලුතින් TIN අංකයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එබැවින්, TIN සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කරුණ මත පමණක් මහජනතාවට අදාළ සේවාවන් සැපයීම ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.