November 2, 2026

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනකුට එරෙහිව කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට 2016 වසරේදී පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 07 වැනිදා නැවත කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

සාක්ෂි විභාගය සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසිය කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මෙම නියෝගය නිකුත් කළේය.

ඇප මත මුදාහැර සිටින විමල් වීරවංශ ඇතුළු සෙසු සැකකරුවෝ අද (02) දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුවේ අටවැනි සාක්ෂිකරු අද දින අධිකරණයේ පෙනී සිටි අතර, ඊළඟ නඩු වාරයේදී ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරිණි.

මේ අතර, අද දින නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් නඩුවේ පස්වැනි සාක්ෂිකරුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාව සිටි සෙයිද් අල් හුසේන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් 2016 පෙබරවාරි 6 වැනි දින පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබේ.

විමර්ශකයන් සඳහන් කරන පරිදි, මෙම විරෝධතාව සඳහා 600 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර, කොළඹ තුම්මුල්ල පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කරමින් මහජනතාවට පීඩා සිදුකර ඇත.

මෙම නඩුවේ  සෙසු විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර සහ පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න නම් කර ඇත.